ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයක් වශයෙන් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය(UDHR),සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (ICCPR), සමාජ, ආර්ථික සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය(ICSECR), යන සම්මුතීන් ප්‍රමුඛව සහ පසුකාලීනව ඇතිවූ කෲර අවමන් සහගත සැලකිලි වලින් සහ වද හිංසා වලින් තොරව ජීවත් වීමට ඇති අයිතිය පිළිබඳ සම්මුතිය(Torture Convention) යනාදී සම්මුති රාශියකින් ජාත්‍යන්තරය ඉදිරියේ ගිවිසගත් ශිෂ්ටසම්පන්න රාජ්‍යයකි.
ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ජාත්‍යන්තර නීතිය සිය නීතියේ කොටසක් යන එකත්ව සිද්ධාන්තය සිංහරාසා නඩු තීන්දුව මගින් පිළිනොගැනීම හේතුකොටගෙන වෙනත් පසුකාලීන අණපනත් මගින් ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවත්වීමට ඇති අයිතිය, ආර්ථික සහ සමාජ අයිතිවාසිකම් පිළිබඳ අයිතිය,හිංසා වලින් තොරව ජීවත් වීමට ඇති අයිතිය, නිදහසේ අදහස් ප්‍රකාශ ප්‍රකාශ සහ හෘදය සාක්ෂියට ඇති අයිතිය, භාෂණයට සහ ප්‍රකාශයට අයිතිය පිළිගෙන තහවුරු කොට ඇති අතර ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය මගින් ඉහත සඳහන් අයිතිවාසිකම් සාමකාමී සංහිඳියාවෙන් යුතු සමාජයකට වන බාධා වැළැක්වීමට යෙදූ සීමාවන්ට යටත්ව තහවුරු කොට ඇති ඇත.
එය ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යළි යළිත් පිළිගෙන ශ්‍රී ලංකාවේ ජනතාවගේ පරමාධිපත්‍ය අනුල්ලංඝනීය අයිතියක් බව සහ ඒ හා අනුගතව යන සියලු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රාජ්‍යයේ සහ රාජ්‍ය බලය හිමි ආණ්ඩුවේ වගකීමක් බව පිළිගෙන තිබේ.
1978 ශ්‍රී ලංකා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව සහ 6 වන පරිච්ඡේදයේ,රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික වගකීම පරිච්ඡේදයේ විධිවිධාන අනුව රාජ්‍ය සම්පත් සහ දේපළ වල සාධාරණ ප්‍රතිභාගය ජනතාවට ලැබෙන බව සහතික කිරීම,ඒ සඳහා වන නිසි කළමනාකරණය.ඊට අවශ්‍ය කරන මූලික පහසුකම් හා සේවා ආදී සියලු දෙය සියල්ල සහතික කිරීමේ වගකීම ආණ්ඩුව වෙත පැවරේ.
ජීවත්වීමට ඇති අයිතිය යන්නෙන් අදහස් කරන්නේ නිදහස් ඒ සතුටින් ජීවත්වීමට අවශ්‍ය කරන සමසමාජ සංහිඳියාවක් ඇති කිරීම මෙන්ම ඒ සඳහා අත්‍යවශ්‍ය වන ජීවත් වීම සඳහා අවශ්‍ය කරන මූලික දේ වන ගොවියන්ට පොහොර ජලය,ඉන්ධන ගෑස්,දරුවන්ට නිදහසේ ඉගෙනුමට පහසුකම් ආදී දේ සපයා දීම වේ.
ජාත්‍යන්තර නීතියේ මූලධර්ම අනුව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් හා සමාජ ආර්ථික හා සංස්කෘතික අයිතිවාසිකම් එකිනෙක අවියෝජනීය ලෙස බැඳී පවතී.
එබැවින් යම් ලෙසකින් තම සමාජ ආර්ථික සහ සංස්කෘතික අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ යම් මොහොතකද ඊට එරෙහිවීමට සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය යටතේ හිමිවන අයිතිය ප්‍රකාරව ඒවා සහතික කරවා ගැනීමට ආණ්ඩුවට බල කිරීමට ජනතාවට අයිතියක් පවතින බව අමුතුවෙන් කිව යුතු නොවේ.
රාජ්‍ය දේපළ හා සම්පත් කොල්ල කමින් මුග්ධ ලෙස ශ්‍රී ලංකාවේ රාජ්‍ය කරණයේ යෙදෙන දැන් තිබෙන ආණ්ඩුවට එරෙහිව ජනතාව කාලයක් පුරා පැවති පීඩනය විඳදරා ගනිමින් අවසානයේදී එය දරා ගත නොහැකි තැන වීදි මඟට බැස්සේ එම අයිතිය සහතික කරවා ගැනීමට ඇති උවමනාව නිසා මිස රාජ්‍ය විරෝධයක් නිසා නොවේ.
ප්‍රංශ විප්ලවය සිදුවූ කාලයේ ජනතාව මහ මඟට බැස දහහතර වැනි ලුවී ගේ බිරිඳ mary antoinette පාන් නැත් නම් කේක් නැත්නම් කේක් කාපල්ලා කියා ජනතාවට කිවූ නිසා ජනතාව සිය පරමාධිපත්‍ය බලය භාවිතා කර ඔහු රජකමින් නෙරපා හැරි බව ඉතිහාසය කියවූ අප සැම අසා තිබේ.
අද ශ්‍රී ලංකාවේ ගොවියන්, කම්කරුවන්,සිසුන් පූජකවරුන් යන ආදී සමාජයේ විවිධ සමාජ කුලකයන්ට අයත් පොදු ජනයා වීදි බැස තිබෙන්නේ සතුටින් ජීවත් වීමට තමන්ට ඇති අයිතිය රැක ගැනීමට සහ පරිසරය සහ පොදු දේපළ සම්පත් සූරාකෑමට සහ දූෂණයට එරෙහිව බව අතැඹුලක් සේ පෙනී යන කරුණකි.
සුගතපාල මෙන්ඩිස් එදිරිව චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග නඩු තීන්දුවේ දී සහ තවත් නඩු තීන්දු ගණනාවකදී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වන පරිච්ඡේදයේ සඳහන් රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම ආරක්ෂා කිරීම රාජ්‍යයේ භාරකරුවන් වශයෙන් රාජ්‍ය පාලකයාගේ සහ ආණ්ඩුවක වගකීම වන බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට අනුව තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන අවස්ථාවක ඊට එරෙහි වීම ශ්‍රී ලංකා දණ්ඩ නීතිය අනුව වරදක් නොවේ.
මන්ද යත් තම පීඩනය සහ දුක වේදනාව ප්‍රකාශනය කිරීමට ඇති අනුල්ලංඝනීය අයිතිය සාමකාමී උද්ඝෝෂණ මගින් පිළිබිඹු කිරීම නිසාවෙනි.
එවැනි අවස්ථාවක ආණ්ඩුවට තම රාජ්‍ය බලය, මහජන බදු වලින්වලින් යැපෙන පොලීසිය, හමුදාව සහ යුද අවි යොදා උල්ලංඝනය කිරීමට නීතියෙන් හැකියාවක් නැත.
හදිසි අවස්ථා නීති රෙගුලාසි මගින් පාලනය කළ හැකි වන්නේ ජනයා අවිගෙන සන්නද්ධ කැරලි කැරලි ඇති කරමින් මහජන සංහිදියාව සහ සාමය කඩ කරන්නේ නම් පමණි.
වත්මන් උද්ඝෝෂණ ව්‍යාපාර වල දී ජනයාආණ්ඩුවට එරෙහිව තම විරෝධය පළ කරනු හැර රාජ්‍ය විරෝධයක් ප්‍රකට කරනු දක්නට නොලැබේ.
බහුතර ජනයා විසින් ඡන්දයෙන් පත් කරගත් පාලකයා ලෙස පෙනී සිටිමින් තමාගේ සහ තම ආණ්ඩුවේ අසමත් බව පෙන්නුම්කරන විට ඊට සාමකාමී උද්ඝෝෂණ කරනු හැර අන් කුමක් කළ යුතු දැයි බුද්ධිමත් ජනයා කල්පනා කළ යුතුය.
ශ්‍රී ලංකාව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය පනත සම්මත කරන ලද්දේ 2007 වසරේදී ය.(ICCPR Act No:56 of 2007)
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය සඳහා වන පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද්දේ වර්ෂ 2010 දීය.(Sri Lanka Sustainable Development Act No:19 of 2017)
මෙම පනතේ විධිවිධාන අනුව තිරසාර සංවර්ධනය සඳහා වන පරමාර්ථ හා ඉලක්ක දාහතක් ( 17Sustainable Development Goals) 2030 වනවිට සාක්ෂාත් කළ යුතු වන අතර ඒ සඳහා ප්‍රතිපත්ති සහ සැලසුම් සකස් කිරීම සහ අනවරතයෙන් ක්‍රියා කිරීම් ශ්‍රී ලංකා රාජ්‍ය වගකීම වේ.
එම ඉලක්ක අතර දිළිඳුකම තුරන් කිරීම සහ සමාජ අසමානතාවය අවම කිරීම,ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මතාව,පිරිසුදු ජලය සහ සනීපාරක්ෂාව රැකියාව සහ ඒ සඳහා යටිතල පහසුකම්, ගුණාත්මක අධ්‍යාපනය,ඉඩම් අයිතිය, සාමය සහ යුක්තිය සඳහා සවිබල ගැන්වූ ආයතන(ස්වාධීන හා ශක්තිමත් අධිකරණ)
ඇතුළු තවත් පරිසරය හා ගෝලීය රැකවරණයට අත්‍යවශ්‍ය වන ඉලක්ක ඇතුළත් වේ.
අද වන විට ලංකා රාජ්‍යය විට මෙම ඉලක්ක කරා ගමන් කරනවා වෙනුවට ශීඝ්‍ර ලෙස ආපසු ගමන් කරන බවක් පෙනෙන්නට තිබේ.ජනයා ඒ පිළිබඳව ගැඹුරු දැනීමක් ද තිබුණද නොතිබුනද වීදි බැස තිබෙන්නේ අවුරුදු හැත්තෑ හතරක් පුරා දේශීය පාලකයන්ගෙන් තමන් අපේක්ෂා කල ජාතික සමගිය, ආගමික සංහිදියාව
සහ සතුටින් ජීවත් වීමට අවශ්‍ය කරන අවම තත්ත්වය අහිමි වී යාම හේතුවෙනි.
ඈත අතීතයේ අපේ මුතුන්මිත්තන් අපට හිමි කර දී ඇති සමෘද්ධිමත් දේශය සහ සාරධර්ම වලින් පිරි සමාජය අහිමිවීම පිළිබඳව ජනතාව තුළ කම්පනයක් ඇති වීම අසාධාරණ නොවේ.
ඒ නිසා ජනතාවගේ පරමාධිපත්‍ය රැක ගැනීම ඔවුන්ගේම පරම අයිතියකි.
පොලිසිය හමුදාව ද ඔවුන්ගේ පවුල් ද, දූ දරුවන් ද, මේ ජනතා වගේ ම කොටසකි. ඉහත කී පරමාධිපත්‍යය හිමි ජනතාවගේ ම කොටසකි.
මේ මොහොතේ ඔවුන් බලලෝභී අතළොස්සක් වන කෑදර පාලකයන් වෙනුවෙන් අවි එසවීම සහ පොදුජන උද්ඝෝෂණ යටපත් කිරීම කිරීමට කටයුතු කිරීම ජනතාවට ද්‍රෝහි වීමකි.
එනිසා ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියා කිරීම නීතිඥවරුන් හා අධිකරණය සතු පැහැර හැරිය නොහැකි වගකීමක්බව යළි යළිත් සිහිපත් කළ යුතුය.
අධිකරණය ජනතාවගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ නීතියේ අධිපත්‍යයේ, යුක්තිය සහ සාධාරණත්වයේ මුරදේවතාවා ලෙස සැලකෙන අතර නීතිඥවරුන් හා වරියන් පරිවාර දෙවියන් ලෙස සැලකේ.
උද්ඝෝෂකයන් අපරාධකරුවන් සේ සලකා බලලෝභී පාලකයන් වෙනුවෙන් අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට එරෙහිව නීතිඥවරුන් නොමිලේ පෙනී සිටිය යුතුය.
නැතහොත් අපට නීතිගරුක සදාචාර සම්පන්න සමාජයක් ඉතිරි වන්නේ නැත.ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව ස්වාධීන අධිකරණ විසින් ජනයාගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට සහ සමාජීය සහ සාධාරණත්වය ස්ථාපිත කිරීමට තම දැනුම, ප්‍රඥාව සහ පෑන් තුඩ භාවිතා කරනු ඇත යන්න පොදු ජනයාගේ අපේක්ෂාව වේ.
මෑත කාලයේ දැඩි විවේචනයට බඳුන් වන නමුත් ලෝකයේ රටවල් අතර අනභිභවනීය ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ අධිකරණවලින් සමාජ යුක්තිය සහ සාධාරණත්වය මේ මොහොතේද ඉටුවන බව අපට ස්ථිරය.
යුක්තිය සහ සාධාරණත්වය රජයන සමෘද්ධිමත් දේශයක් බිහි කිරීමට ශක්තිය ධෛර්යය ශ්‍රී ලංකාවේ ජනයාට නිරතුරුව ලැබේවා !
සියලු දෙවියන්ගේ රැකවරණය සහ ආශිර්වාදය සියලු සත් සත්පුරුෂයන්ට ලැබේවා!
අධම අසත්පුරුෂයන්ගේ මුග්ධ භාවය තුරන් වී යහපත උදා වේවා!
නීතිඥ සුනිල් ජයරත්න
B.A(Hons)Peradeniya,
LLM(Deakin).
C.HR(Strasbourg)
M.A.(IR)Colombo.
(පාර්ලිමේන්තුව පත්කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මහජන අදහස් කමිටු සාමාජික-2016,
විභාග පරීක්ෂක, නීති විද්‍යාලය 2013-2014,
රුහුණ විශ්වවිද්‍යාලයේ පාලක සභික සහ බාහිර කථිකාචාර්ය1998-2014)
මෙසේය මෙම ලිපිය සකස් කිරීමේ දී මාගේ ගුරුදේවෝත්තමයන් වන මහාචාර්ය වීරමන්ත්‍රී ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අමරසිංහ,ආචාර්ය ජයම්පති වික්‍රමරත්න යන සුධීමතුන් ගේ ගේ රචනා මෙන්ම කොළඹ නීතිඥ සංගමය මගින් ප්‍රකාශිත (Hulftsdorp Law Journal)-2021)නීති සඟරාව ඉමහත් පිටුබලයක් වූ බව කෘතඥතා පූර්වකව සඳහන් කරමි.)