ශ්‍රී ලංකාවේ LGBTQIA පුද්ගලයන් සම්බන්ධ නීති

LGBTQIA යනු විවිධ ලිංගික අනන්‍යතා හා විවිධ ලිංගික දිශානතීන් සහිත පුද්ගලයන් ය. එනම්,

L – Lesbian

G – Gay

B – Bisexual

T – Transgender

Q – Queer

I – Intersex

A – Asexual

ලංකාව තුල නම් මෙය ප්‍රසිද්ධියේ කතා කිරීම සමහරු විසින් තහනම් කර ගනු ලැබූ මාතෘකාවක් වුව ද වත්මන වන විට එය ප්‍රසිද්ධ මාතෘකාවක් බවට පත් ව ඇත. නමුත් නූතනයේ ද LGBTQIA පුද්ගලයන් සම්බන්ධ නීති රාමුව පිළිබද ව මිනිසුන් තුළ ඇත්තේ අල්ප දැනුමකි. එමෙන් ම LGBTQIA සම්බන්ධ නීති රාමුවේ ද පිරවිය යුතු හිස්තැන් රාශියක් ගැබ් ව ඇත.

දැන් අපි LGBTQIA පුද්ගලයන් සම්බන්ධ ශ්‍රී ලංකාවේ නීති තත්වය කෙසේදැයි විමසා බලමු.

ලංකාවේ අපරාධ නීතිය සම්බන්ධ ප්‍රතිපාදන ඇතුලත් වන්නේ 1883 අංක 02 දරණ ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනතේ හා 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතෙහි ය.

දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය අනුව,

‘යම් පුරුෂයෙක් ස්ත්‍රියක හෝ සතෙකු සමග ස්වභාව ධර්මයට විරුද්ධ ව, කැමැත්තෙන් ම කාමුක සංසර්ගයෙහි යෙදෙන තැනැත්තෙකුට අවුරුදු දහයක කාලයක, දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමෙන් දඩුවම් කළ යුතු ය. ඔහු දඩයකට ද යටත් විය යුතු ය.’

එමෙන් ම දණ්ඩ නීති සංග්‍රහයේ 365 (අ) වගන්තිය අනුව,

‘ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ වෙනත් පුරුෂයෙකු සමග තදබල අශෝභන ක්‍රියාවක් කරන හෝ එබදු ක්‍රියාවකට පාර්ශවකාරයෙකු වන හෝ එබදු ක්‍රියාවක් යම් පුරුෂයෙකු ලවා කරවන හෝ කරවීමට තැත් කරන  පුරුෂයෙකු වරදකට වරදකාරයෙකු විය යුතු ය. ඔහුට අවුරුදු දෙක දක්වා කාලයකට දෙයාකරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඩුවම් දෙකින් ම දඩුවම් කළ යුතු ය.’

නමුත් මේ අවස්ථා දෙකෙහි දී ම ‘ස්වභාව ධර්මයට විරුද්ධ ව’ හා ‘තදබල අශෝභන ක්‍රියාවක්’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි නිශ්චිත ව දක්වා නැත.

1995 අංක 22 දරණ ලංකා දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන) පනත අනුව,

365 වගන්තිය,

‘වයස අවුරුදු දහ අටට වැඩි තැනැත්තෙකු විසින් වයස අවුරුදු දාසයට අඩු තැනැත්තෙකු සම්බන්ධයෙන් සිදු කරන ලබන අවස්ථාවක, අවුරුදු දහයකට නොඅඩු වූ ද, අවුරුදු විස්සක් නොඉක්මවන්නා වූ ද කාලයකට බරපතල වැඩ ඇති ව බන්ධනාගාර ගත කිරීමකින් හා දඩයකින් එම තැනැත්තාට දඩුවම් කරනු ලැබිය යුතු ය. සිදු කරන ලද හානිය වෙනුවෙන් අධිකරණය නිශ්චය කරනු ලබන මුදලක වන්දියක් ද ඒ තැනැත්තාට ගෙවන ලෙස ද අධිකරණය විසින් පැනවිය යුතු ය.’  යනුවෙන් සංශෝධනය වී ඇත.

එමෙන් ම 365(අ) වගන්තියේ සදහන්  ‘පුරුෂයෙකු’  යන්න  ‘යම් තැනැත්තෙකු’ ලෙස විවිධ ලිංගික දිශානතීන් සහිත පුද්ගලයන් අරුත් ගැන්වෙන පරිදි සංශෝධනය කර ඇත.

තව ද එම වගන්තියේ,

‘ඒ වරද වයස අවුරුදු දහ අටට වැඩි තැනැත්තෙකු විසින් වයස අවුරුදු දාසයකට අඩු තැනැත්තෙකු සම්බන්ධයෙන් සිදු කරනු ලබන අවස්ථාවක, අවුරුදු දහයකට නොඅඩු වූ ද, අවුරුදු විස්ස නොඉක්මවන්නා වූ කාලයකට බරපතල වැඩ ඇති ව බන්ධනාගාර ගත කිරීමකින් හා දඩයකින් දඩුවම් කරනු ලැබිය යුතු ය. සිදු කරන ලද හානිය වෙනුවෙන් අධිකරණය විසින් නිශ්චය කරනු ලබන මුදලක් වන්දියක් ලෙස ගෙවීමට ද අධිකරණය විසින් පනවනු ලැබිය හැකි ය.’ ලෙස සංශෝධනය වී ඇත.

දණ්ඩ නීති සංග්‍රහය තුළ LGBTQIA පුද්ගලයන් අතඩංගුවට ගැනීම හා තැතිගැන්වීම සදහා 352 හා 353 වගන්ති අදාල කරගෙන ඇති අවස්ථා ද දැකිය හැකි ය.

352 වගන්තිය අනුව,

‘පිරිමියෙකු නම් වයස අවුරුදු දාහතරකට අඩු වූ හෝ ස්ත්‍රියක න්ම් වයස අවුරුදු දාසයකට අඩු වූ බාල වයස්කාරයෙකු හෝ සිහිය විකල වූ තැනැත්තෙකු එකී බාල වස්කාරයාගේ හෝ සිහි විකල වූ තැනැත්තාගේ නීත්‍යානුකූල භාරකාරයාගේ භාරයෙන් හෝ ඒ භාරකාරයාගේ කැමැත්ත නැති ව යමෙකු ගෙන ගියහොත් හෝ යෑමට පෙළඹවුවහොත් ඔහු එකී බාල වයස්කාර හෝ සිහි විකල් තැනැත්තා නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ ලෙස’ සලකනු ලැබේ.

උදාහරණයක් ලෙස සමලිංගික කාන්තාවකට එරෙහි ව කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු වයස අවුරුදු දහ අටට අඩු අවස්ථාවල යුවල බිය ගැන්වීම සදහා මෙය යොදාගෙන ඇත.

353 වගන්තිය අනුව,

‘යමෙකු යම් ස්ථානයකින් යෑමට යම් තැනැත්තෙකුට බලහත්කාරකමින් බල කරතොත් හෝ යම් වංචා සහගත ක්‍රමවලින් හෝ බලය අනිසි ලෙස පාවිච්චි කිරීමකින් හෝ වෙනත් බලකිරීම් මාර්ගයකින් පෙළඹවතතොත් ඔහු ඒ තැනැත්තා ‘පැහැර ගෙන ගිය ලෙස’ සලකනු ලැබේ.’

උදාහරණයක් ලෙස කාන්තාවන් තම නිවෙස්වලින් පලා ගිය අවස්ථාවල මෙය යොදාගෙන ඇත.

වික්‍රමසිංහ එදිරිව කින්ග් නඩුවේ දී වයස අවුරුදු දාසයට අඩු ළමයෙකුට ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධ ව චූදිතයාට තදබල අශෝභන ක්‍රියාව සම්බන්ධයෙන් චෝදනා කර ඇත.

දලුවත්ත එදිරිව අමරසිංහ නඩුවේ දී හමුදා සාමාජිකයෙකුට එරෙහි ව සමලිංගිකතාව පිළිබද චෝදනා කෙරුණ ද, මෙහිදී අධිකරණය සමලිංගිකතාව පිළිබද පැතිකඩ කෙරෙහි අවධානය යොමු නොකළ අතර ක්‍රියා පටිපාටිමය අක්‍රමිකතාවය පදනම් කරගෙන නඩුව නිශ්ප්‍රභා කර ඇත.

විවිධ ලිංගික අනන්‍යතා හා විවිධ ලිංගික දිශානතීන් සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධ ව දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම තුලින් ඒ සදහා මහගු පිටිවහලක් ලැබී නැතත් එමගින් ඔවුන් බොහෝ අඩන්තේට්ටම්වලට ලක් වූ අවස්ථා ලංකා නීතිය තුල බහුල ව දක්නට ලැබේ.

උදාහරණ ලෙස නීතිය මාර්ගයෙන් ශාරීරික අඩන්තේට්ටම් කිරීම, මානසික ව අඩන්තේට්ටම් කරමින් අසමාන ව සැලකීම, LGBTQIA පුද්ගලයන් මානසික රෝගී පුද්ගලයන් සේ සලකා ක්‍රියා කිරීම, ළමා ලිංගික අපයෝජනයට එරෙහි ව රැකවරණය සැලසීමට අසමත් වීම ආදිය දැක්විය හැකි ය.

ලංකා දණ්ඩ නීතී සංග්‍රහයේ ප්‍රතිපාදන මගින් ශාරීරික ව හා මානසික ව පීඩාවට පත් වන පුද්ගලයනන්ගේ නෛතික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා භාවිතා කළ හැකි වෙනත් නෛතික ප්‍රතිපාදනයන් හා අණපනත් කවරේදැයි ඉදිරි දින විමසා බලමු.

සටහන : නීති ශිෂ්‍ය  දුෂ්මන්තා නිරෝෂිණී

Scroll to Top